Wednesday, November 16, 2011

දෑස පියා මොහොතක් නැලවී හිඳ ඔබේ රුව අඳිමි සිතින්

පුංචි පුතා මගේ කිරි කැටියා
දැන් දැන් හරි හපනා
පුංච් දෙපා පොඩි අත් සලමින් 
කුස තුල එහේ මෙහේ යනවා....

දෑස පියා මොහොතක් නැලවී හිඳ
ඔබේ රුව අඳිමි සිතින්
පුතුගේ පියා සිනැහෙනු දැක එසැනින්
ඔබෙ රුව මැවෙය් සැනින්...

ටිකිරි සිනා හඬ නුබ නගනා දින
මගේ, ලෝකය දිනනු ඇතී.
එදින කරා මම දින ගනිමින් පුත
හට සව් සෙත පතමි......


ඔයාට තෙරුවන් සරනය්! මගේ රන් කැටියෝ.

Tuesday, September 27, 2011

රන් වැට දිලුනේ බෝ හිමි සෙවනේ රන් වන් රැස් දහරා දිලුනේ

රන් වැට දිලුනේ බෝ හිමි සෙවනේ
රන් වන් රැස් දහරා දිලුනේ
සිලි සිලි නදිනේ බෝ පත් සැලුනේ
තැවුල් සිතට බුදු සිසිලස දැනුනේ...

හදවත තෙරපා මිහිමව කලඹා
කඳුලින් බෝ පාමුල දෙවුවා
සිරිමත් සිරි මා බෝ සමිඳුන් මගේ
වරමක් දුන්නා කඳුලැලි නිම්මා....

බිලිඳු මුවක කිරි සිනා දකින්නය්
ඒ කිරිකැටි පුතු ලොව දිනවන්නය්
මා හිමි මුවගේ සිනා නගන්නය්
දුන් වරමට බෝ පින් සිදු වන්නය්...

තෙවරක්ම බුදුන් වැඩි මේ පින් බිම තවමත් පින් සාරය්. කාලයක් තිස්සේ විවිධ කම් කටොලු මැදින් අපේ හීනයක් සැබෑ කරගන්න අපි දෙන්නා සිරිමා බෝ හිමි අබියස බෝධි පූජාවක් කලා. විවිදාකාර වූ රෝග තත්වයන් සමනය කරමින් අපේ බලපොරොත්තුව හැබෑවෙන ලකුනු පහල වෙලා.


මගේ රත්තරන් පැටියෝ අනේ ඔයා මගේ මැනික පුතේ. පරිස්සමින් ඉඳලා එන්න රන් කැටියෝ. ඔයා එනකන් අපි හැමෝම බලන් ඉන්නවා.
ඔයා දුවෙක් උනත් පුතෙක් උනත් නීරෝගී දරුවෙක් වෙන්න කියන එක විතරම්ය් මේ අම්මය්, තාත්තය් ඉල්ලන්නේ.
ඔයාට තෙරුවන් සරනය්!

Monday, July 11, 2011

ස්වර්ණ්මාලී මහා ථුපාභිවන්දනා 2011.06.04

විස්තර කියන්නම් කිව්වට මාසයක් යනතුරුත් විවෙකයක් තිබුනෙ නෑ නෙ. ඔන්න අද තමය් පින්කමේ පින්තූර ටික අරන් ආවෙ. මෙතන ගොඩාක් විස්තර නම් නෑ.

මග දෙපස සිරි

 මග දෙපස සිරි
 මහ මලුවෙ වැලි ඇට ගනනට සෙනග, අපි හිටියෙ දෙවැනි මලුවෙ. එතනත් අර වගෙම සෙනග.



 කොප්පරා පහන් වැටවල්.

 ගුවනින් අවිත් සෑය වටේට සහ සෑයට මල් පෙති ඉස්සා. මල් පෙති දුර අහසෙ ඉඳන් වැටෙද්දි පුදුම ලස්සනක් තිබුනෙ, කැමරාවට හසු කරගන්න තරම් බැරි උනා.







Friday, June 24, 2011

සිනාසෙන් නුඹ් මගේ හිමියනි.....


සිහිනයක් හා රෑඳුන මිහිරි මතකෙක සුවඳ
සිත් ඉමේ දඟ කරන ලස්සන
කිති කවා හද මුමුනලා පද
නවුම් තාලෙක තනුව වයනා ....

පෑතුම් ඉසව්වක සිහින කොදෙව්වක
දෑගිලි පටලා පියවර මෑන යන
මේ දිවි ගමනේ නුඹ දිනනා දෙස
බලා ඉඳිම් සෙව්නැල්ලක් සේ ලඟ....

මග නොමග නොහැඳින මුලාවී
සිටිය කාලය අදින් නිම වේ
පතමි සුවහස් සුබාසිරි,
සිනාසෙන් නුඹ මගේ හිමියනි....



එකම එක පුංචි විභාගයක් උනත් මට මහමෙරක්. ඔයා වැඩිම ලකුනු අරන් සමත් උනා කියලා අහන්න තරම් මම පින් කරලද?

Friday, June 3, 2011

ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නය්, උඩ මලුවේ බෝධි සාම් පිරිමි පුතෙක් දෙන්නය්...!




කාලෙකට ඉස්සර ඇහුන පද වැලක්, හිතට තදින්ම කා වැදිලා තිබිල කියල තේරෙන්නේ දැන් තමය්.

මාස කිහිපයකට පෙරාතුව බිලිඳු කිරි සිනහ ගැන සිහින මවනා කාලයෙදි මට නැවතත් මේ ගීතය සොයා ගන්න දැඩි අවශ්යතාවයක් දැනුනත් එය මාතට ලැබුනේ නෑ, සිහිනයත් හොරු අරන් ගියා වගේමය්.

 අද ඉතින් අහම්බෙන් වගේ මේ ගීතය අයෙමත් මගේ මතකයට ආවා, අපි හෙට අනුරධපුරය බලා යනවා, ඔව් රුවන්වෙලි සෑයේ පින්කමට සහබාගී වෙන්න. කොහොමහරි ශ්‍රී මහා බෝධියටත් යන්න ඔනනෙ කියන සිතුවිල්ලත් එක්කම මට මේ පද පෙල මතකයට ගෙනෙන එක වලක්වන්න බැරි උනා. අනේ පුතු පැටියො මට ඔයාව මතක් වෙනවා රත්තරන්!  ඒ අවාසනාවන්ත දේ සිදු නොවුන නම් මේ වෙනකොට ඔයාට මාස අපි ඔයාව පිලි ගන්න හැමදේම ලෑස්ති කරන් බලන් ඉන්නවනේ..අපි ගාවට එන්න මට ඔයාව මගේ කරගන්න පින නොතිබුනාට, තවමත් කල් තියෙනව, අනේ පුතු මේ සැරේ එන්න!

මේ බ්ලොග් ලියන යාලුවො පුලුවන් නම් මට පුංචි උදව්වක් කරන්න. කවෘහරි ලඟ මේ සින්දුව තියෙනව නම් මට ලබා දෙන්න.

වී අහුලන කුරුලු කොබේ කාරිය කරවන්නය්
.......................................................................
ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නය්,
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නය්...!

පුතෙක් උනත් දුවෙක් උනත් දරුවෙක්! කවුරු උනත් වටිනාකමේ අඩුවක් නෑ. 


 








Wednesday, June 1, 2011

ස්වර්ණ්මාලී මහා ථුපාභිවන්දනා 2011.06.04 දින ප.ව. 4.30 සිට සර්ව රාත්‍රිකව


අනුරාධපුර රුවන්මැලි මහා සෑ සමිඳුන් අභියස 2011.06.4වන දින සර්ව රාත්‍රිකව ශ්‍රි කල්යාණි  යෝගාශ්‍රම සංස්ථා ප්‍රධාන අනුශාසක දුරන්ධර ත්‍රිපිටකාචාර්ය, මහා කම්මට්ඨනාචාර්ය අති පූජනීය නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන්  රුවන්මැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරත්න ස්වාමීන්වහන්සේ ඇතුලු පූජනීය මහා සංඝ රත්නයේ පූර්ණ ආශිරවාදය හා අනුශාසනාව පරිද්දෙන් 2011ක් වූ ජුනි මස 4වන දින සුවිශේශී පුණ්‍ය කර්මයක් පැවැත්වීමට කටයුතු කර ඇත.
අපටම පිහිටවීමට ලොව පහල වී වදාළා වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ අසිරිමත් ශ්‍රි සම්බුද්ධත්ව මංගල්‍ය 2600වන ජයන්තිය හා සබැඳිව ශ්‍රි ලංකා ධරණී  තලයේ වියැකෙමින් තිබූ ප්‍රතිපත්ති සාසනයට නව ජීවයක් දෙමින් බිහි වූ ශ්‍රි කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට වර්ෂ 60 පිරෙන මොහොතේ, ශ්‍රි කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා  සමුත්පාදක බෝධිසත්ව ගුණෝපේත අතිගරු පූජනීය  රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රි ජිනවංශ මාහිමියන් වහන්ස අතිගරු පූජණීය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රි ඥාණාරාමාභිධාන  මහෝපාධ්‍යායන් වහන්සේ ප්‍රධාන අපවත්වී වදාල සංඝ පීතෘවන්හන්සේලාට පුණ්‍යානුමෝදනා ප්‍රරර්ථනා පෙරදැරිව දහසකට අධික පූජනීය  මහා සංඝ රත්නය පෙරටු කරගෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන අසිරිමත් ආමිස ප්‍රතිපත්තිමය මහා පුණ්‍යෝත්සවයයි…

පිංකම මාලාව
  • කුල දරුවන් සිය දෙනෙක් පැවිදි කිරීම
  • මහා ස්ථූප ආලෝක පූජාව
  • සත් බුද්ධ පූජාව
  • ලක්ෂ තුනකට අධික නෙලුම් මල් පූජාව
  • හය දහසකට අධික අටපිරිකර පූජාව
  • කප් රුක් පූජාව
  • තෙල් පහන් ආලෝක පූජාව
  • මහා සුවඳ දුම් පූජාව
  • සුවඳ පැණින් මළුව සේදීම
  • හේවිසි පූජාව
  • සර්ව රාත්‍රික පිරිත් දේශහාව
  • දහසකට අධික මහා සංඝ්හික දානමය පිංකම්
පිංකම් පෙලගැස්ම
  • 2011 ජූනි 04 ප.ව. 4.30 සිට මහා සංඝ රත්නය සෑ මළුවට වැඩමවීම
  • 2011 ජූනි 04 ප.ව. 5.30 බුද්ධ පූජා වැඩමවීම
  • 2011 ජූනි 04 ප.ව. 6.00 සිට මහා ස්ථූප ආලෝක පූජාව හා සත් බුදු වන්දනාව
  • 2011 ජූනි 04 රාත්‍රී 9.00 සිට දහසකට අධික මහා සංඝ රත්නය විසින් පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් දේශනාව
  • 2011 ජූනි 05 පෙ.ව. 4.00 සිට කුල දරුවන් සිය දෙනකු පැවිදි කිරීමේ පිංකම
  • 2011 ජූනි 05 පෙ.ව. 5.30 ක්ශීරපායාස බුද්ධ පූජාව හා මහා සාංඝික දානය
සංවිධානය – ගල්දූව ආරණ්‍ය සේනාසන මූලස්ථානය ප්‍රධානව දිවයින පුරා ව්‍යාප්තව පවතින ශ්‍රි කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා අනුබද්ධිත ආරණ්‍ය ශාඛාවල සහභාගීත්වයෙනි..
(0091 2256013)
—————————————————————————————————————————————————————
එම අසිරිමත් ස්වර්ණමාලී මහා ථූපාභිවන්දනා පිංකම සඳහා අරියමග්ග සංවිධානය ලෙසින් අපගේ සංවිධායක සහ දායක පිංවතුන් සමග අපද විවිධ පිංකම් සඳහා දායකවෙයි.. සංවිධාන කටයුතු මෙහෙයවයි…

එම පිංකම් විස්තර ඔබ සැමදෙනාට උපකාර පිණිස පහත දක්වා ඇත…
  • 2011.06.02 දින වෙසක් කූඩු 600 එල්ලීම සඳහා අවශ්‍ය් කණු සහ කූඩු එල්ලීම..
  • 2011.06.02 සවස 4.00ට මළුව දෝවනය සහ විශේශ සුවඳ පූජාව…
  • 2011.60.03 සුවඳ පහන්, කොප්පරා පහන්, තැඹිලි පහන් සැකසීම
  • 2011.60.03 සුවඳ පහන්, කොප්පරා පහන්, තැඹිලි පහන් තැන්පත් කිරීම
  • 2011.6.04 – සත් බුදුරජාණ වහන්සේලා උදෙසා පවත්වන විශේශ ගිලන්පස
  • බුද්ධ පූජාව සහ පෙරහැරට අවශ්‍ය කටයුතු සම්පාදනය සහ සංවිධානයට …
  • 2011.06.04 සිට සර්ව රාත්‍රිකව සුවඳ පහන් කොප්පර පහන් තැඹිලි පහන් ආලෝක පූජාව පැවැත්වීම
  • 2011.06.04 – සත් බුදුරජාණ වහන්සේලා උදෙසා පවත්වන විශේශ කිරි ආහාර බුද්ධ පූජාව සහ පෙරහැරට අවශ්‍ය කටයුතු අවශ්‍ය සම්පාදනය කට්යුතු සංවිධානයට …
  • 2006.06.05 පෙරවරු නැවත මළුව පවිත්‍ර කිරීම
  • 2006.06.05 දහවල සංවිධානය කරන 1000 පිංවතුන්ට දානය පූජා කිරීම සහ අනෙකුත් දාන සංවිධානයෙදී අවශ්‍ය කටයුතු සම්පාදනය
මෙම පිණ්කම හා සම්බන්ධ වීමට කැමැති ඔබ සැමට පැමිණ අප හා එකවන මෙන් මෙත් සිතින්, ගෞරවයෙන් මතක් කරමු..

තෙරුවන් සරණයි…



ප:ලි: මට ලැබුන විස්තර පත්‍රිකාවක් තමය් මම ඔය ඉහල පල කලේ. පින් අතේ වැඩක් නෙ, ඉතින් අපිත් හිතුවා සහබාගී වෙන්න. 04 වෙනිදා හිමිදිරියෙම පිටත් වෙන්න තමය් අපේ අදහස. සංවිදායක කමිටුවේ සමහරක් අද අනුරාදපුරය බලා පිටත් උනා.
 ගිහින් ඇවිත් මමත් වැඩි විස්තර කියන්නම්කො. පුලුවන් කමක් තියෙනවනම් යාලුවනේ ඔයාලත් එන්න. දුරින් ඉඳන් සහබාගී වෙන්න පුලුවන් පින් කම් උනත් තියෙනවා.