Thursday, April 16, 2015

දරු නැලවිලි ගී...

පරණ දරු නැලවිලි ගී ටිකක්, මට හිතුනා පෝස්ට් කලොත් හොන්දයි කියලා.... මේවා ඇහෙද්දි මට මගේ චූටි පැටියව නලවපු හටි මතක් වෙනවා. තවමත් නිදි නැති සමහර රැයවල් වලදි මේවා ඕන වෙනවා...
මේ ටික ඔයාලට, සමහරුන්ට නම් වැඩක් නැති වේ, ඒත් සමහරෙක්ට ඔන වෙන දවසක් ඒවි නෙ.....
දැයේ සියලුම දරුවන්ගේ නෙත කන්දුලු නිවේවා, මුව මුව සිනහ මල් පිපේවා.....

 
තොටිල්ල සැම සුව                       පිරි
පැද්දෙයි තාලෙට                         සරි
අසමින් ගී සුමි                            හිරි
නිදන්න පුත රන්                          කිරී

නුබේ අම්මා කොතැන                   ගියා
කොහිල විලේ පතට                     ගියා
පන් උදුරා එන්ට                         ගියා
එන්ට නැතිව පමා                       ගියා

මගේ පුතා නැලවෙන්නේ
නැලවි නැලවි නිදියන්නේ
තොටිල්ල තාලෙට යන්නේ
සැම දෙවියනි රැකදෙන්නේ


උත්තම ගුණ ඇති වේවා
ලත් තැන වැඩ සෑදේවා
උවදුරු බයකුත් නේවා
රෑ සඳ නුඹ රැකදේවා


මගේ පුතා රත්තරනින් කළා වැනී
සිනා මුහුණ රත්තරනින් රුවක වැනී
දෙ පෝදාට පෑයූ පුන් ස`දක්‌ වැනී
මගේ පුතා රන් දුනුකේ මලක්‌ වැනී


අත්තක පිපි මලක්‌ ලෙසේ
මුද්දක බැ`දි රුවක්‌ ලෙසේ
සත්තක මගෙ පුතුගෙ ඇසේ
නෙත් දෙක මගෙ පුතුගෙ දෙසේ


ලොවේ  පුතුන් බොහොම ඇතා
වඩා නැලෙව්වත් හඬතා
මගේ පුතා එහෙම නැතා
නඬා නිදියන්න පුතා


ලොවේ ළමයි නඩු කියතී
ගුටි අනිමින් සිර කරතී
කැට කැබලිති දඩ ගෙවතී
මගේ පුතා එහෙම නැතී


ආඩම්බර නොකර ඉතා
පාඩම් වුණු බිළි`දු කතා
මේ දැන් කී කවින් ඉතා
නාඩන් මගෙ බිළි`දු පුතා


දොයි දොයි දොයි දොයි දෙය්යෝ
බයි බයි බයි බයි දෙය්යෝ
දොයි දොයි බයි බයි දෙය්යෝ
නින්දක්‌ නිදි ගන් දෙය්යෝ


කන්දක්‌ ගිනි ඇවිලෙන්නේ
හැන්දක්‌ කිරි බීපන්නේ
නැන්දත් නුඹ නලවන්නේ
නින්දක්‌ නිදියා ගන්නේ


ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා


පුතා මගේ හරි හපනා
දවසට කොළඹට යනවා
පවුම් තිහක්‌ පඩි කනවා
ඉන් පවුමක්‌ මට දෙනවා


උඹෙ අම්මත් ඉතා කළුයි
නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹ නලවන මාත් කළුයි
නුඹ විතරයි තල එළළුයි


අතට වෙරළු ඇහිද ගෙනේ
ඉණට පළා නෙලා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ


පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
නැතේ සෙනේ එහි නිම්මා
නිදන්න පුත දොයියම්මා..


අත්තනගලු ගල මුදුනේ
සිරිසඟබෝ රජ එමිනේ
හිස දන් දුන් එදැන ගෙනේ
සාදු කියාපන් පුතුනේ


දෑතේ වළළුත්                       නැතිකෝ
දෙපයේ ගිගිරිත්                     නැතිකෝ
අප්පා එයි දැන්                      හනිකෝ
නාඩන් සුරතල්                      මැණිකෝ

අත රැඳි පොතේ බණපද සිත නැති හන්දා
මුව රැඳි සිනහව'රුත හද නැති හන්දා
අටලෝ දහම සිහි උනි නුඹ ගැන සිතලා
නම දුන් මව් පියන් තුන් කල් නුදුටු නියා ....